Facebook එක දැන් වෙද්දී ගහට පොත්ත වගේ අපේ ජීවිත වලට බද්ද වෙලා ඉවරයි. ඒ ගණුදෙනුව අඩියෙන් අඩියට අපේ ජීවිත ඇතුලේ සනීපෙට ලැගුම් ගන්න ඉඩකඩ හොයනවා. ලස්සන profile පින්තූරෙකට වහ වැටෙන්න යන්නේ ඇහි පිය ගහන තප්පරයක් විතරයි.
Request එක accept කළා කියන්නේ වැඩකාරයෙක්ට නම් පෝරු මශ්තකේ අෂ්ටක කිව්වා වගේ තමයි. හැබැයි කොල්ලෙක්ට නම් දාලා තියන පින්තූර මාර posh වෙන්න ඕන. Six pack නැතත් තියනවා වගේ පේන්න ඕන. තියන පින්තූරවල අඩුම ගානේ යාලුවෙක්ගෙ car එකක්වත් තමන්ගේ වගේ පසුබිමෙන් පේන්න ඕන. ලොකු ලොකු පාටිවල චිල් එකේ ඉන්න පින්තුර ගොඩක් වැදගත්. ගැහැණු ළමයට ඒකෙම අනිත් පැත්ත. කට පොඩ්ඩක් ඇදේට කරලා කට උල් කරලා සෙල්ෆි ගහපු පින්තූර තියනවනම් බුකියේදී ඒ ගැහැණු ළමයට හම්බවෙන්නේ අනුපමේය වටිනාකමක්. Photoshop app එක හොයාගෙන තිබ්බේ නැත්තනම් ඒ අයට අබ සරණයි. අනිත් වැදගත්ම දේ තමයි නම. කාන්චනා, කන්චි අෂ් වගේ උනාම ග්‍රාමසේවකගේ උප්පැන්නේ වලපල්ලට ගිහින් අලුත් කෙනෙක් බිහිවෙන්නේ. ඒ නම්වලට ඝන පිහිටීම් එහෙම අරහන් මහත්තයෝ. බුකියේ රොමැන්තික ආදර කුමාරයෙක් කුමාරිකාවක් වෙන්න මේ වගේ සුදුසුකම් සපුරන්නම වෙනවා. ලියුම් ලියපු, ලේන්සු මාරු කරපු, ආදර සින්දුවලට සම වැදුණු ආදරය දැන් විශ්‍රාම ගිහින් ඉවරයි. අලුත් බුකිගත ප්‍රේමයට ප්‍රාණ වායුව දැවටිලා ඉවරයි. ආදරේට පාඩම් කියල දෙන්න තරම් අපි මෝරලා මදි. හැබැයි මුහුණු පොතේ සිද්දවෙන සමහර අසමජ්ජාති වැඩ නිසා කලකිරෙන්න තරම් හිතේ තෙතමනය තාමත් ඉතුරුයි. එකම ගානට ආදරය කරන්න, පිස්සු කෙලින්න, සැපෙන් ඉන්න. හැබැයි ගැහැණියෙක් විදියට පිරිමියෙක් විදියට ත්යාගගත වෙච්ච මේ ජීවිතේට සක්කිලිකම් මුහු කරලා පැනල යන්න එපා. රැවටෙන්නත් එපා. සීමාව ඉක්මවලා කරන ඕන දේක නපුරු කඳුළු මිහිදන් වෙන්න යන්නේ හරි පොඩි වෙලාවයි. මේක ආදරය සහෝ, නිකන් පූජාසනයක බන්දේසි ගත වෙච්ච ආදරය නෙමෙයි. මේක මුහුණු පොතේ ආදරය. ඒ නිසා පරිස්සමෙන්. cover image designed byYanalya / Freepik |
CategoriesArchives |